මහා කුස්සියක කතාවක්

කුමක් හෝ හේතුවක් නිසා The Great Indian Kitchen මලයාලම් චිත්‍රපටය (අධ්‍යක්ෂණය Jeo Baby) බැලුවට පස්සේ මතක් වුණේ මුත්තා තෙරණියගේ මේ ගාථාව:

මිදුනෙමි මිදුනෙමි මැනවින් මිදුනෙමි
කුදු තුනකින් මම හොඳ හැටි මිදුනෙමි
මෝල්ගහෙන් වංගෙඩියෙන් කුදු සැමියාගෙන් මිදුණෙමි.
මරණින් උපතින් සසර දුකින් මම බව තණ්හාවෙන් සැබැවින් මිදුණෙමි

ථෙරි ගාථා. බුද්ධ ජයන්ති මුද්‍රණය (ගීය 11)

ථෙරිගාථා වල සමහරක් ස්ත්‍රීන් ගිහිගෙය හැර යන්නේ දුෂ්කර ගෘහස්ථ ජීවිතය නිසා. වංගෙඩියෙන්, මෝල්ගහෙන් මිදුනු හැටි ඔවුන් කතා කරනවා. පිළුණු බත්හැලි වලින් මිදුනු  ආකාරය ගැන කතා කරනවා. ඒවා දරා ගත නොහැකි සීමාවකට එන විට, මෙයට වඩා වෙනස් ජීවිතයක් තිබිය හැකි බව දැනෙන විට ඔවුන් ගිහිගෙය හැර යනවා. පිරිමි ගිහිගෙය හැර යාම සහ ගැහැණු ගිහිගෙය හැරයාම අතර වෙනසක් ඇති බව, ඔවුන්ගේ විමුක්තියේ ආකෘතිය වෙනස් බව Kathryn Blackstone ඇගේ Women in the Footsteps of the Buddha කෘතියේ  විස්තර කරනවා. ඒක වෙනම සාකච්ඡාවක්. මට අද කතා කරන්න ඕනෙ The Great Indian Kitchen ගැන. අපේ කාලයේ ජීවත් වන ඒකෙ කතා නායිකාවට ආගමික සංස්ථාවකට ඇතුල් වෙනවාට වඩා වෙනත් විකල්ප තියෙනවා.

ඇත්තටම කියනවානම්, චිත්‍රපටියේ බහුතර කාලයක් අපි බිරිඳත් එක්ක (බිරිඳට සහ සැමියාට නම් නැහැ-භාර්යාව ස්වාමි පුරුෂයා වගේ වචනවල දේශපාලනය ගැන කතා කරන්න වෙනම ලිපියක් ලියන්න වෙනවා. රෝලන්ඩ් බාර්ත් කිව්වා වගේ “භාෂාව කිසිවිටෙක අහිංසක නෑ”) ඉන්නේ කුස්සියේ: නැගිට්ට වෙලාවෙ ඉඳලා, උදේ, දවල්, රෑ, උයනවා, කෑම මේසෙට බෙදනවා, සැමියයි සැමියගේ පියායි හැම තැනම ඉඳුල් හල හලා කාපු මේසේ අස්කරනවා, ඔක්කොම හෝදනවා, ආයෙත් දවල්ට උයන්න පටන් ගන්නවා, ඔය විදිහට සංසාර චක්‍රය වගේ කෙලවරක් නෑ. කුස්සියේ නැති වෙලාවට රෙදි හෝදනවා, ගෙදර මොප් කරනවා, නිකන් ඉන්නම වෙලාවක් නෑ වගේ (අපේ වයිෆ්, අපේ අම්මා ජොබ් එකක් කරන්නේ නෑ කියන එකේ තේරුමම ප්‍රශ්න කරන ෆිල්ම් එකක් මේක). රෑට ලිංගික කාර්යයේ යෙදෙන කොට (ඇත්තටම to have sex කියන්න සාමන්‍ය වචනයක් නැද්ද අපට? එක්කෝ රමණය, සංසර්ගය වගේ වචන, නැත්නම් මෙතන ලියන්න බැරි අසභ්‍ය වචන තමයි තියෙන්නේ!) ඇය ඇගේ අත ඉඹලා බලනවා ඉඳුල් ගඳයිද කියලා. ඇගේ මනසට එන්නේ සෝදපු නැති පිඟන්, එහෙම නැත්නම් සින්ක් එකේ පිපිරිච්චි බටයෙන් වැටෙන ඉඳුල් වතුර බිංදු. ෆිල්ම් එක අග හරියට එනකොට අපට ඒ කුස්සියෙ පීඩනය දැනෙන්න පටන් ගන්නවා. ඒ කුණු වල ගඳ දැනෙනවා.

එතකොට ගෙදර වෙන කවුරුත් නැද්ද? සැමියාගේ අම්මා රට ගිහිල්ලා දුවගේ ළමයා බලාගන්න, උයලා දෙන්න. සැමියා උදේ නැගිටලා යෝග කරලා, ගැඹුරු හුස්ම අරගෙන, කාලා වැඩට යනවා. ගෙදර ඇවිල්ලා නිදහසේ ඉන්නවා. සැමියාගේ පියා–ඔහු තමයි මූලික වශයෙන්ම සම්ප්‍රදාය රකින්නා, දත් බුරුසුව පවා ළඟට ගෙනල්ලා දෙන්න ඕනේ!–මුළු දවස පුරාම YouTube videos බලනවා, පත්තර බලනවා, නැත්නම් දෙයියන්ට වඳිනවා. එයා විරුද්ධ වෙනවා ලේලි ගෑස් ලිපේ බත් ඉව්වහම-මොකද දර ලිපේ තමයි උයන්න ඕනෙ. මැෂින් එකේ රෙදි හෝදනවට එයා කැමති නෑ–එයාගේ ඒවා අතින් තමයි හෝදන්න ඕනේ (ඒ කියන්නේ ඔහුගේ බිරිඳගේ හෝ ලේලි‌ගේ අතින්). මේ පුරුෂ මූලික ක්‍රමය රැක ගෙන යන්න පිරිමි වගේම ගෑණුත් හවුල් වෙන හැටි ෆිල්ම් එක හොඳින්ම පෙන්වනවා.

දකුණු ආසියාවේ මේ ක්‍රමය වෙනස් වෙමින් තිබුණත් ගෙදර වැඩ කරන්න ඕනේ ගැහැණු කියන සාමාන්‍යකරණය වෙනස් වෙන්නෙ හරිම හෙමින්. ඒ මදිවට ගෙදර හැම වැඩක්ම කරලා, උයලා, අස් කරලා රැකියාවටත් යන්න වුණාම ලේසි නෑ. මේ ෆිල්ම් එකේ නිවස තුළ සිද්ධ වන ඒ සම්ප්‍රදාය රැකීම, ඒ කියන්නේ ගැහැණියට තමන්වම නැතිවෙන තරමටම කුස්සියට ගෙදරට හිරවෙන එකේ ගැබ්වෙලා තියෙන ප්‍රචණ්ඩත්වය පෙන්වනවා. ඒත් එක්කම, ඔසප් වීම ගැන, ඒ කියන්නේ ඒක කිල්ලක් විදිහට දකින එක ගැන, ස්ත්‍රිය අදහසක් ප්‍රකාශ කළ ගමන් එය දරුණු විදිහට දැක ඇයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය ප්‍රබල විදිහට ගෙනහැර දක්වනවා.

ෆිල්ම් එක තුළම මේ ක්‍රමයට, සාමාන්‍යකරණය වෙච්ච සම්ප්‍රදායන්, බල සබඳතා වලට විකල්ප ඉදිරිපත් කරනවා. ඇත්තටම කියනවානම් සම්ප්‍රදාය නිසා වරප්‍රසාද ලබන අය තමයි වැඩියෙන්ම අකමැති මේ සම්ප්‍රදාය වෙනස් කරන්න. ඒත් එක්කම ෆිල්ම් එකට වෙනම එළියක් අරන් එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමන්ට ඔසප් වුණත් ඒක නොකියා වැඩ කරන්න යන බව කියන ඌෂා. ඇගේ ආර්ථික තත්වය ඇතුලේ ඇයට බැහැ කිලි වගේ ඒවා සීරියස් විදිහට ගන්න (ඇත්ත තමයි, තමන් කිව්වේ නැත්නම් කවුද දන්නේ ඔසප් වෙනවද නැද්ද කියලා!). අනෙක් චරිතය ෆිල්ම් එකේ කිරි බෝතල් අරගෙන එන කුඩා දැරිය. කතා නායිකාව ඔසප් වෙලා කාමරේකට දාලා වහලා බිම නිදාගන්න කියලා තනි කරලා ඉන්න දවසක ඇයව හොයාගෙන එපා කියද්දි දොර ඇරලා ඇයට ජම්බු ගෙඩි කීපයක් දීලා යනවා. ලස්සන ලොකු ඇස් දෙකෙන් හිනා වෙනවා. ඒ සාම්ප්‍රදායික මහගෙදර තියෙන නීති ඇයට අදාල නැහැ. මේක බලන්න වටින චිත්‍රපටියක්.

Comments

Leave a comment